img_container
17 Mar

ශ්‍රී ලංකාවට සංහිඳියාව සඳහා මාවතක්

Venue : Sri Lanka
Date : 03/17/2021
Time : 09:00 AM

සෙලීනා ක්‍රැමර් විසින් අවුරුදු 30 ක් පුරා රට තුළ පැවති කටුක සිවිල් යුද්ධය නිසා ඉතිරි වූ ශෝකය, අහිමිවීම් සහ පක්ෂග්‍රාහීත්වය තුළ ඇති කරන ලද පීඩාවන්ගේ අඳුරු සෙවනැලි තවමත් සිංහල බෞද්ධ, දෙමළ හින්දු, මුස්ලිම් මෙන්ම කතෝලික වශයෙන් වූ විවිධ ජනවාර්ගික ප්‍රජාවන්ගේ ජීවිතවල තවමත් ඉතිරිව ඇත. ඒ තුළ පීඩාවට පත් වූ ප්‍රජාවට සේවා පහසුකම් සහ සම්පත් කරා සමාන අයුරින් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම සහ සමාජ සහජීවනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීම පශ්චාත් යුධ ගැටුම් කාල පරිච්ඡේදයක් තුළ ගමන් කිරීමට උත්සාහ දරන රටක් මුලිකවම සහ කඩිනමින්ම කළයුතු කාර්යයි. මෙම අභියෝගයට මුහුණ දීමේදි ‘පාසල්’ ප්‍රධාන අංශයක්වන අතර, වඩාත් ඉවසිලිවන්තව කටයුතු කරන අයුරින් දරුවන් මෙහෙයවීම සහ ජනවාර්ගික ගැටුම් හා ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීමට වග බලා ගැනීම සඳහා පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම අතීත හා වත්මන් රජයන්ගේ අනිවාර්ය වගකීමකි. 2008 වසරේ දි, ප්‍රජා අධ්‍යාපනය පන්ති කාමර විෂයක් ලෙස හඳුන්වාදීම යහපත් යැයි පෙනුනද, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රජාවන් අතර පවතින සබඳතාවල කිසිදු අර්ථවත් දියුණුවක් පෙන්නුම් කර නැත. එසේම 'සාරධර්ම' විෂයක් ලෙස හඳුන්වාදීමේදී බහුතරය එය සලකනු ලබන්නේ ආගම හා බැඳුනු ආධ්‍යාත්මික කෝණයකිනි.. සාරධර්ම මත පදනම් වූ ප්‍රවේශයක් රට තුළ නොමැති වීම සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආගමික නොවූ අවකාශයක අවශ්‍යතාවය යන කරුණු දෙකම අවබෝධ කරගත් ආසියා පදනම, ප්‍රජාවන් අතර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා තමන් විසින් ම නිර්මාණය කරන ලද, ‘ශ්‍රී ලංකාව තුළ පොදු සාරධර්ම ප්‍රවර්ධනය කිරීම’ නම් වූ ව්‍යාපෘතිය දියත් කරන ලදි. මෙම ව්‍යාපෘතිය කළුතර, කුරුණගල, අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල තරුණ නායකයින් සහ ක්‍රියාකාරීන් අතර මෙන්ම, පුළුල් ලෙස සමාජ මාධ්‍ය හරහාද හඳුන්වා දෙන ලදි. සාරධර්ම සංග්‍රහය, 2012 වසරේ දි ආසියා පදනම විසින් නිර්මාණය කරන ලද අතර ඇන්ඩ්‍රොයිඩ් ජංගම යෙදුමක් (https://play.google.com/store/apps/details?id=com.values4all.valuescurriculum.androidproject&hl=en_US&gl=US )ලෙස මෙන්ම, එහි වෙබ් අඩවිය (http://values4all.lk/si ) ඔස්සේද ඒ සඳහා ප්‍රවේශ වීමට හැකියාව ඇත. එම සංග්‍රහය තුලින් ළමුන් හා තරුණයින් අතර පොදු සාරධර්ම වර්ධනය කිරීමට උත්සාහ කරන අතර ඒ තුලින් අනෙකුත් ප්‍රජාවන් සමඟ සහ තම ප්‍රජාව අතර පැන නගින ගැටලු සම්බන්ධයෙන් බහුත්වවාදී සහ ඉවසිලිවන්ත ප්‍රවේශයක් අනුගමනය කිරීමට ඔවුන්ට සහාය වේ. සක්‍රිය සවන්දීම, සාමය, ගෞරවය, ඉවසීම, කරුණාව, අවංකභාවය සහ විශ්වසනීයත්වය සහ සහයෝගීතාව වැනි මූලික මානවවාදී වටිනාකම් මෙම සංග්‍රහයට ඇතුළත් කර ඇත. ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද ඉතා වැදගත් අධ්‍යයන දෙකක් තුලින් සාරධර්ම පදනම් කරගත් අධ්‍යාපනය ආයතනිකකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරන අතර, එම උත්සාහය ක්‍රියාත්මක කලයුතු යුතු ආකාරය පිළිබඳව ද එම අධ්‍යයන තුළින් මනා අවබෝධයක් ලබා දී ඇත. විවිධ ප්‍රජාවන් අතර වාර්ගික-ආගමික සම්බන්ධතා පිළිබඳ තරුණ පරපුර තුළ පවතින අවබෝධය අධ්‍යයනය කිරීම සඳහා 2018 වසරේ දි සිදුකළ පර්යේෂණයේ පසුවිපරමක් ලෙස පසුගිය වසරේ මැයි සිට අගෝස්තු දක්වා පවත්වන ලද සමීක්ෂණය ඉන් පළමුවැන්න වේ. පසුගිය වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සාරධර්ම විෂයමාලාව පිළිබඳ පවත්වන ලද පුහුණු තුලින් එයට සහභාගී වූ තරුණ කණ්ඩායම තුළ ඇති කරන ලද බලපෑම අධ්‍යයනය කිරීම සඳහා සිදුකරන ලද ගුණාත්මක ඇගයුම දෙවැන්න වේ. පසු විපරම් සමීක්ෂණයේ ප්‍රධාන සොයාගැනීම් අතර සාමය සහ රටේ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් පිළිබඳ 2018 සිට බලාපොරොත්තු සහගත ප්‍රවණතා කිහිපයක් දැකිය හැකි අතර, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ මට්ටම සහ ඔවුන් ජීවත් වන ප්‍රජාවන් අනුව අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මගින් තරුණ මත අඛණ්ඩව හැඩ ගැස්සෙන බවට පැහැදිලිව දැකිය හැක. ප්‍රතිචාර දැක්වූවන් සියල්ලන්ම පාහේ (සියයට 94) සාමය පිළිබඳ අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු යැයි විශ්වාස කළහ. 2018 සහ 2020 යන වසර දෙකෙහිම, ප්‍රතිචාර දැක්වූවන් විසින් ළමුන් තුළ වර්ධනය කළ යුතු වඩාත්ම වැදගත් සාරධර්ම ලෙස අවංකභාවය (සියයට 72), සාමය (සියයට 68) සහ ගෞරවය (සියයට 64) සමාන ප්‍රතිශතයන්ගෙන් හඳුනා ගෙන තිබුණ නමුත් ‘විවෘතභාවය’ හා ‘සහජීවනය’ සම්බන්ධ ප්‍රතිශතයන්ගේ යම් වර්ධනයක් පෙන්නුම් කර ඇත. විවිධ ජනවාර්ගික හා ආගමික පසුබිම්වලින් පැවත එන ළමයින්ට පාසල තුළ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියා කිරීමට අවස්ථාව ඇති බවට, ප්‍රතිචාර දක්වන ලද තරුණ තරුණියන්ගෙන් සියයට අසූ පහක් ප්‍රකාශ කර ඇත. මෙලෙස පාසල තුළ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියා කිරීමට හැකි ස්ථාන ලෙස ඔවුන්ගෙන් සියයට 70 ක් පන්ති කාමරය සඳ හන් කර තිබුණ අතර , සියයට 40 ක් ක්‍රීඩා ක්‍රියාකාරකම් ගැනත්, තවත් අය බාහිර ක්‍රියාකාරකම්, සමාජ සහ සංගම් ගැනත් සඳහන් කර තිබුණි. කෙනෙකුගේ ආගම ආරක්ෂා කිරීමේදී වාචික ආක්‍රමණ (සියයට 53) සහ ශාරීරික හිංසනය (සියයට 51) පිළිගැනීම සැලකිය යුතු මට්ටමක පවතින බව සමීක්ෂණය මගින් දැකිය හැකි විය. රට පුරා තරුණ ක්‍රියාකාරිත්වය කෙරෙහි පවතින උන්න්දුව වර්ධනය වෙමින් පවතින අතර එය, ජනවාර්ගික-ආගමික ප්‍රජාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකල හැකි වේදිකාවක් ලෙස සැලකේ. 2018 දී සියයට අසූවක් සහ 2020 දී සියයට 78 ක් කියා සිටියේ යෞවන සමාජ හා සංගම්, වෙනත් ජනවාර්ගික-ආගමික පසුබිම්වලින් පැවත එන පුද්ගලයින් සම්බන්ධයෙන් ඔවුන් විසින් දරණ මත වැඩිදියුණු කරගෙන ඇති බවයි. මින් වැදගත්ම කරුණක් ලෙස 2018 සිට 2020 අතර ආකල්ප හැඩගැස්වීමේ පුරෝගාමීන් වන දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ මත වල කිසිඳු වර්ධනයක් සිදු නොවීමත්, ආගමික නායකයින්ගේ බලපෑම මාධ්‍ය බලපෑම අභිබවා යාමත් සැලකිය හැකිය. අන්තර්ජාලය භාවිතයට සමාන්තරව දේශීය රූපවාහිනියේ බලපෑම වැඩි වී ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන වෛරී සහගත ප්‍රකාශ වර්ධනය කිරීමට සමාජ මාධ්‍ය දායක වන බවක් පෙනෙන්නට ඇත. යෞවන යෞවනියන් සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී වඩාත් වගකීම් සහිතව සහ අවදියෙන් සිටින බව අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට හැත්තෑ තුනක් වෙනත් ආගම් හා ජනවාර්ගිකත්වය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය තුලින් ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවට එකඟතාවය පළ කර ඇති අතර සියයට 68 ක් එවැනි ඉදිරිපත් කිරීම් විශ්වාස කළ නොහැකි යැයි පවසා ඇත. කෙසේ නමුත් 2018 දි පවත්වන ලද මූලික දත්ත සමීක්ෂණයට සාපේක්ෂව 2020 ප්‍රතිචාර දැක්වූවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තමන්ගේ ආගමික හා ජනවාර්ගික පසුබිම හේතු කොට ගෙන අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක ප්‍රතිචාර (සියයට 27), සයිබර් හිංසන (සියයට 17) සහ වෛරී ප්‍රකාශ (සියයට 31) පිළිබඳ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දී ඇත. මෙම ගුණාත්මක ඇගයුම පදනම් වූයේ 165 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකරන ලද ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා මාලාවක් පදනම් කරගෙන වන අතර, ඔවුන්ගෙන් 90 කට පුහුණුව ලබා දී ඇත්තේ තරුණ පහසුකම් සපයන්නන් වන අතර සහ ඉතිරි කොටස එක්දින වැඩමුළු සඳහා සහභාගීවූවන්ය. මෙම සාකච්ඡා හරහා 2019 අගෝස්තු සිට 2020 මැයි මස දක්වා පවත්වන ලද විෂය මාලාවට අදාළ වැඩසටහන්, යෞවනයන් අතර සාරධර්ම හුවමාරු කරගැනීමට දායක වූයේ කෙසේද යන්න තීරණය කිරීමට උත්සාහ කර ඇත. ප්‍රධාන දර්ශකයක් වූයේ වෙනත් ජනවාර්ගික-ආගමික ප්‍රජාවන්වන්ට අයත් සම කණ්ඩායම් කෙරෙහි වන ආකල්ප හා හැසිරීම් වැඩිදියුණු වී තිබීමයි. මෙම ඇගයුම හරහා එකතු කරන ලද සිද්ධි අධ්‍යයනවලින් පෙනී යන්නේ, වසරක් පුරා පහසුකම් සපයන්නන් විසින් ලැබූ අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයේ පුද්ගලික සංවර්ධනයට සැලකිය යුතු ලෙස බලපා ඇති බවයි. විශේෂයෙන් සම කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරීමට ඔවුන් තුළ ඇති හැකියාව වැඩි දියුණු වී ඇති අතර අනෙකුත් ප්‍රජාවන් කෙරෙහි ඔවුන් තුළ ඇති සහකම්පනය ද වැඩි දියුණු වී ඇත. කෙසේ වෙතත්, එක්දින වැඩමුළුවලට සහභාගිවූවන්ගේ ජීවිත වල ඇති වූ දියුණුව හා ඔවුන්ගේ සම්බන්ධතාවල සිදුව ඇති වර්ධනයන් පිළිබඳ ඒ හා සමාන අත්දැකීම් ඔවුන් ද ඔවුන්ගේ සම කණ්ඩායම් හා පවුලේ අය සමඟ බෙදා ගෙන ඇති අතර, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔවුන්ට වූයේ සීමිත නිරාවරණයක් බැවින් ඔවුන්ගේ සම පහසුකම් සපයන්නන් මෙන් නොව ඔවුන්ට වැඩසටහන තුලින් සැලකිය යුතු දිගුකාලීන ප්‍රතිලාභයක් හඳුනා ගැනීමට නොහැකි වී ඇත. යුද්ධය අවසන් වී දශකයකට වැඩි කාලයක් ගතවී ඇතත්, ශ්‍රී ලංකාව ජාතික සංහිඳියාව පිළිබඳ ගැටළු විසඳීම දෙස හැරී බලා නැවතත් විමසිලිමත්ව ආරමභ කලයුතු සන්ධිස්ථානයක සිටී. ජාතියේ සමාජ සහජීවනය අලුත් කිරීම සඳහා දරණ වත්මන් උත්සාහයන් ප්‍රශංසනීය වන නමුත් ප්‍රතිසංස්කරණය කරන ලද අධ්‍යාපන පද්ධතියක් තුලින් ලැබෙන මූලික සහයෝගය ඒ සඳහා ලැබි නැත. මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ සාරධර්ම විෂය මාලාව මත පදනම් වූ සාරධර්ම අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ වඩාත් ඉවසිලිවන්ත, සියල්ලන්ගෙන්ම පරිපූර්ණ, සහසම්බන්ධිත සමාජයක ආරම්භක පියවරක් විය හැකි බවයි